Sunday, August 4, 2013

කුරුළු ළමාතැන


"කුරුළු-ළමාතැන"
මගෙන් නම් ලද
කුරුමිණිය ඔබ,
සුමුදු පෙති පහස යට,
සර්වබන්ධන ව.

මල නම්, ශුද්ධ ය,
ගන්ධය සුගන්ධ ය,
බුද්ධ පූජා ය.

ශුද්ධය ඇත්තේ අශුද්ධය
ගන්ධය ඇත්තේ දුගන්ධය
බුද්ධ කාය ද දුක්ඛ ය
එහෙත් මල , ඔබෙහි සැපත ය.

පිච්ච මල ඔබ - රුවැති
බුදු පා පිදුමට ගැනෙති
නිකෙලෙස් පැහැ ලැබති
දිනක රුව ගුණ නැසෙති

'න හරාමි
න භඤ්‌ජාමි,
ආරා සිඞ්‌ඝාමි වාරිජං '

දැඩි බැඳුමකි
මා ගිලිහී වැටීමට නොදුන්
එහෙත් නොබැඳෙමි

ලෙහෙමි
වැටෙමි
එහෙත් නොමැරෙමි.

කඳුලින් කැඳලි සෝදක


පතොක් කටු විසැති
ඒ මත නැඟී රුවැති
කටෙහි කෙළ හිඳෙති
'සුන්දරය' මා වෙළති..

බලා නො-ඉන්
එමි පියඹන්
නුඹේ බිරින්
ගනු තුරුළින්

පතොක් ගහ උඩ කැඳැල්ල
නුඹෙ රුවැත්තී  ගනිල්ල
රුවට රූ ගැනිල්ල,
සුරතල් පැටව් තැනිල්ල

විසෙහි විස නොහැඳුනන්
ආදර විසෙන් පැහැදුණන්
පෙම්බරව නොතැකුවන්
පතොක් කඳ මත සීන වපුරන්

හිඳීම විසකුරු විය
දැකීම විසකුරු විය
ගැයීම විසකුරු විය
ඇඬීම විසකුරු විය

සුන්දරත්වය නැති විය

ගිනි කුරුල්ලෙකි
සුලලිත
සායම් ඔබ්බවා හැඩැති

කිරිල්ලන්
විසෙහි පටලන
නො හැඳිනීමි කුලය
(Kandulin Kendali Shodaka)
රතු පාට වූ පමණින්.