Friday, December 14, 2012

මා පුරුෂය - වන බිළාල් ය













වන බිළාල් ය
මා යුග පුරුෂය
දඩයමින් වනයෙහි හැසිරුණු
සුකොමළය රළු ගතින් වැසුණු

පීර පීරා හද මස සෙවූ
රළු වනයෙක පඳුරු දිවි ගෙවූ
පතොක් වනයක ගුණ දත්
බෝපත් රුවක් ගත්

මා බිළාල් තැන,
ඒ නුඹ දුටු තැන්න!
පුංචි කහ මල් යාය
අප එන පෙරමඟ තාම..

සිහින












පුර සඳක් යට ගහේ ඉත්තක
කුරුමිණි යුවළක් එක් වෙලා
ඉගිල යන තරු කැටය ගානේ
වෙළී , හීනෙක පැටලිලා

සඳට දුර නැති වලාවක සැඳි
මාලිගාවට පියඹලා
පිනි කඳුලු මත නැඟුණු දේදුනු
සඳ මඬල වෙත පා කළා

පින්න මෝදු ව හැලෙන මහ වැසි
පොලෝ තලයේ ඇති නිසා
මවක ගුණ සඳ නැවී මිහි මත
පැලින් පැල එබිකම් කළා

සැඬ සුළඟ මැද හදක් නංවන
ලෝ දියේ ගිනි සිහිලවා
සොයා මල්සර පිපුණු තැන් වෙත
සඳත් සොමි රැස් ඉහිරුවා

Wednesday, August 22, 2012

බොලේ මේං මං නාකි වෙලා


















අම්බලමකි අස්තිර පොලකි..
නැවතීමක් නැති දුක්කිත තැනකි..
යමි නො-ඉදුම සොයා
මම නො-එමි සදා
අස්තිර පොලකි.. දුක්කිත තැනකි..

ගෙන්-ගෙට වළදන මහණ ගණයි
මං - රසමසු ලොබකන පුතක්ජනයි
නො බැඳී රසයේ.. හිඳිනෙම් වනයේ..
වණ දුරලමි වීරිය ගෙන දිවියේ..

තැවරෙන කුණු මළ මහා බයයි
තැන තැන නැවතුම මෝහයමැයි
නොබැඳී සසරේ.. දුරුලම් අඳුරේ..
එළි පාදමි මනුහට දුක් නිරයේ..

නිවස කඩා.. බිඳ ලූ මිනිසා..
දෙසුවත් බණ නැත දුක සිඳවා..
පින නැත පුරවා
වාණය උතුරා..
තව තව ලොබ රොඳ බඳින තුරා..

අම්බලමකි අස්තිර පොලකි..
නැවතීමක් නැති දුක්කිත තැනකි..
යමි නො-ඉදුම සොයා
මම නො-එමි සදා
අස්තිර පොලකි.. දුක්කිත තැනකි..

(වාදනයක යෙදුණු ග්‍රැමෆෝන් ගී තැටිය මත තෘෂ්ණිම්භූත ස්වරයෙන් සිටි කූඹි පොඩිත්තියක් සිහිනෙන් දැක බිරාන්තව හිමිදිරියේ ඇහැ ඇරී අවදි වීමි. බොලේ මේං මං නාකි වෙලා.)

Monday, August 20, 2012

නුඹ සිඹිමි සිඹින්නෙමි - හදක් සඳක් වූ නිසැයි











මම සොයමි සොයන්නෙමි 
ගසක් ගසක් කොළ බරින් 
මම වැලකි වෙලන්නෙමි 
මෙලෙක් මලක් පල බරින් 

නුබ ගැබෙහි නුඹ දුරකි 
සිතත් සිතත් නුඹ ළඟැයි 
නුඹ සිඹිමි සිඹින්නෙමි 
හදක් සඳක් වූ නිසැයි 

මම දකිමි දකින්නෙමි 
විලක්, වැවක් දිය පිරී 
මම ගිලෙමි ගිලෙන්නෙමි 
පෙමක් පෙමින් පින පිරී 

නුබ සැරිය නුඹ සරය 
ගනිම් ගනිම් සිත් වඩා 
නුඹ පුරමි පුරන්නෙමි 
බවක් බවක් සිත් පුදා

Friday, July 27, 2012

ළහිරු පෙරදිග නැඟ බටහිර දෙසට පැද්දෙත

පායන අහස් ගිනි එළිය
කැටයම් කුලුණු සිපගෙනය
විටක දෙවිටක පියඹන
පක්ෂියෙක් නැත ගුවනත

පරිසරය නිසසල
නිල් දිය ද සීතල
තුරු වදුළු මත කැදැළි සෙනෙහස
උණුසුමින් ළය තද කර

පොලෝතලයන් දැල්වී
මාරුත සිහිල කැළැඹී
මනස් ගෙඩි කළුවකින් ගැස්සී
විලෝපියෝ කෙළි රඟතී

ළහිරු පෙරදිග නැඟ
බටහිර දෙසට පැද්දෙන
සොයමින්, වපුළ අපුල බිජු
හිරු දේ අවකැපෙන පණ

ජාලයට අසුවූ
අජාලික බිලිදු
මනැස් කළුවන් අතින් දූලිව
ඉහළ සුව ගැබ යන රූ

Tuesday, May 15, 2012

තුෂර පත් මතට මල්පෙති පතිත විය - කාලය කැරකිනි රවුමට..















තුෂර පතක නැඟි
හීතල සුසුමක්
පාවි පාවී ඇවිත්
ගොඩබැස්සා හෙමින්,

ළතෙත්ලන්තෙට..!

ඈත - මෑත බලා දුටු
රතුපාට පොඩි පැලක්!
දැල්වෙන ගිනි එළියක්?

සුසුම සුසුමක් හෙළා
පැලට ගොඩ වී අසයි
ගල් ගැහෙන සීතලකට
නැද්ද ලොකු උණුහුමක්?

ගිනි සිළු දැල්වී
ලොකු උණුසුමක් දුණි
සීතල සුසුම උණු වී
තව උණුහුමට ළං වුණි..

ගිනි දැල්ල සතුටින්
සුසුමට ළබැඳි වි ය
සුසුම පණ නැඟී
උණුහුම සමඟම ය..

* *
තුෂර පත් මතට
මල්පෙති පතිත විය 
කාලය කැරකිනි
රවුමට.. 
* *

"ළතෙත්ලන්තයේ වසන්තය මේ...!!"

ප්‍රාණවත් සුසුම
උණුසුම මෑත් කොට
යා යුතු බව කීය
තව දුර..

ගිනි දැල් නැඟී
අයැදීය සුසුමෙන්
දැල්වීමට තවත්
ජීවන සුස්මක්...!

සුසුමද දයාවෙන්
ගිනි සිළ වෙත පැමිණ
නිදහස් හුස්මක්
තෑගි දුන්නා ඇයට..

(උතුරු වලසා තරුවෙන් බැස
දකුණු අහසට විත්
ග්‍රීෂ්මයෙ දොරට 
තට්ටු දමනා රැයක
සුසුමක තුරුලේ හිඳ ලිවීමි...)

Saturday, April 28, 2012

ලුණු පොල්කටු ආලේ

සෙම පිරුණු ගුරුවරයෙක් දිනක්
ලුණු පොල්කට්ට අතැ'ති
සිසුවියක් දෙස බලා 
ඔහුට ම කොඳුරයි - යමක්..

"ඔය ලුණු පොල්කට්ට
දෙහියුෂ හා එක්ව
මිරිකා ඉඟුරු ඉස්ම
විටක් දෙවිටක් බීම

සෙම කෑර කෑරා 
පපුවට රිදුම් දෙන්නා
ලෙඩකි මේ කහිනා
දුක දුරලන්න ඕනා.."

ලුණු පොල්කට්ට ඇතැ'ති 
ඈ, අත දම දමා කති
කටට කෙළ උනති
නැවත නැවතත් ලුණු කටේ වෙති

මේකි යස කෙල්ලකි
දැක්කම සෙම නැහෙති
ලුණු ය කීවාම ඇති
සෙම කෑර කෑරා යති..

ගම්මිරිස් මල්ලක් ගෙන
ඉඟුරු ගෝනිය උරේ ලාගෙන
කැටයම් කපා ඔප කළ
ලුණු පොල්කට්ටක් ඇත, මනාපෙට

සෙම් ගුරු ගොඩවුණේ
පොල්කට්ට අතැ'ති සිසු මිදුලේ
ඈ ගෙට දුව ගියේ
ඇගේ මව් පැමිණීය විගසේ

"ගුරුමහත්තැන් ආවේ
තකහනියක්ම කුමටේ?
අපෙ ලොකු එකී ගේ විසේ
අවනඩුවක්ද මහත්තැන්නේ?"

"විසයකට නොවෙයි ගොඩ උනේ
විසේසණ නොකරයි අහන්නේ 
මේකයි කාරණේ
මට ඔහේලගෙ දුව ව ඕනේ..."

"හත්මුතු දෙයියනේ!!
මහත්තයො බොට සෙම කිපෙන්නේ
මේ.. අඳබාල වැඩ කරන්නේ
උඹට තව සෙං ගෙඩි හැදෙන්නේ...!!"

ගුරු තැන දුක් උනා
කියන්ට කිසිත් නැති වුණා
පිටව යන්නට සැරසුණා
වැඩ දැමූ පොල්කට්ට දුන්නා

පොල්කට්ට දුටු සැණින්..
ඈ වෙළුණා ය ආලෙන්..
පසු ගමන් ගොස් ගුරුගෙන්
දෙපා නැමදා වීය පතිනින්...

ලුණු ගම්මිරිස් එකට එක් වී
දෙහි ඉඟුරු ඉස්මෙන් කැලතී
පදමට සෙමට ගුණ දී
ගුරු මහත්තැන් - වුණි නිරෝගී..!!


Thursday, November 17, 2011

පෙම්වත් ය සදකැන්














චන්ද කින්නර රංගනෙන්
මුසපත් වෙමින් පිනි දෙව්ලියන්
අන්න පුන්සඳ ඉස්සෙමින්
සඳ කැන් ඉසියි හසරැල් මතින්
පෙම්බරයි සුළඟත් ඉතින්
මල් විසුරුවා තුරු ලිය වෙතින්
නාදවයි අඳුරත් සෙමින්
පෙම් ගී වැලක් මල් කෙමියකින්

Thursday, July 14, 2011



ළපළු හරිතය සන්තොසින් මුව විහිදුවා නා ලහිරු රැස්
තමලු ගස් සෙවණැලි යටින් ඇඳි පවන සුවබර ගෙනෙන වෙස්
මුකුළු හස කැන් අසල ගැවසෙන සුවඳ මල් විකසිතව ගොස්
කොපළු මත පිපි පින්න බිඳු හිනැහෙමින් ඉස පූදන සෙනෙහස්

Sunday, May 29, 2011

නිවන ළඟැයැ අහුබුදුවනි



මහ ගසැ ඇඳ වැටුණි
ළපටි පැළ සෙලවුණි
මහා බස් රුක නොමැති හිඩැහට
පිරුම් නොපිරෙනු දනිමි

හෙළ බසක් නැඟුණි
හෙළ නමක් උපනි
මහා බසකට පණ පොවා ලූ
පණ ද හෙළයට පිදුණි

‍පඬිමිණ නික්මිනි
ඔවදන නිසා නොහඬමි
බොදු දිවිය මහසරින් ‍දිවි ලූ
නිවන ළඟැය අහුබුදුවනි!

Sunday, May 1, 2011



නිල් අහසැ මත දිස්න දෙන සුමුදු වලාකුළු
සක්මන් ගමනින්-සෙමෙන් අඳින සිත්තමක'යුරු
ඇඳුණු ඒ සිතුවම්හි රුවමැ ඇති නදී ලඳු
වලාවේ ගමනින්මැ ඇදෙන්නී සිත් පිදුණු

සිහිලසින් බැඳී නිරතුරු සෙනෙහස් ලබපු
ගං ඉවුර තැවුලින් ය පුප්පමින් කෙස් කූරු
එහෙ මෙහෙන් සුළඟැ විත් මලු ලිහා ඕපා දූ
අවුළුවයි ගින්දරක් දුක් දියෙන් සිත් පිරුණු

Tuesday, April 26, 2011



වැස්ස නුඹ එය දන්නවානම්
මුරුගසන් වැසි හෙළනවා ඇති
ඇගේ සිත් ගිනි නිවාලන්නට
බැරුව වැහි බිඳ දුක් වෙනව ඇති

විසල් රුකකට වාරු දී ගෙන
සුසුම් හෙළනා ලතාවක් ඇති
නෙත් විලෙන් ඇඳ හැලෙන උණු දිය
මහා පොලොවට දැනෙනවා ඇති

මහා මාරුත ඇවිත් තුරු-ලිය
මැදින් පියඹා යන්න තතනති
මහළු ගස්වැල් සුළ‍‍ඟෙ නැටවී
හමන සුළ‍ඟට තාල නංවති

වැස්ස නුඹ එය දන්නවානම්
අකල් වැසි වස්සන්න නොසිතති
විසල් රුකකට උහුල ගන්නට
බැරිතරම් ළය තෙත් නොදෙනු ඇති

Tuesday, April 12, 2011



අරුණැසිය,
ඇහැරෙන්!
මේ
බක් මහේ හිරු මඟුල
බතින් සරු හිනා මල්
පල දරන්නේ මහ මඟුල
ගම් බිමේ පුසුඹ වැල්
හිත කීරි අනිනා සමය
හෙළය නළියන සමය
අවුරුද්ද සැණකෙළිය

Thursday, January 13, 2011



සෙනේ හදකට සෙනේ පිදුමක්
වුවත් පින්වත් සිත් ලෙසින්
බයක් ඇත නුඹ ලැබෙන්නැති වෙද
සැඟව එන අන් වරදකින්

කමක් නැත්නම් කියන්නෙම් මම්
හදින් නැඟෙන මහමෙරක සෙනේ
ලොවක් නැති මෙන් හැඟෙන්නෙන් දැන්
ඉතින් වාවනු කෙලෙස සිතේ

Monday, January 10, 2011



කණා මැදිරි එළි පොකුරු පිපී ඇති
ඈත බිග්බෙන්පුර පුරා
සෙනෙහස් සුළඟක් සෙනේ උතුරන
තේම්ස් නදියට ළං වුණා
රැයක තරුකැට එකින් එක ගොස්
වළාරොඳකට සැඟවිලා
ළබැඳි හදකට සෙනේ පිරුමක්,
කියා තුටු වී හිනැහුණා

Thursday, November 25, 2010













වැහි පොදට ගුලිවෙන
හීන පිරි යාමෙක
තුෂරයක පා වෙවී
ගියෙමි ලන්ඩන් පුරයට

සීතලට ගල් වුණ
හුදකලා නිවෙසක
සෙනෙහසක් තනිවම
සිහිනයක් ගැන පවසන

ඉල් මහට වැඟිරෙන
හීන් පොද කඳුලට
ළමැද ගිනියම දොවයි
නෙත් කෙවෙණි දෙකකට

කවුළුවෙන් පිට වෙන
හදේ දුක් ගිනි කඳ
සිහිල් සුළඟක් ලෙසින්
නිවන්නෙමි ළබැඳිව.

Thursday, November 18, 2010

කාලිනේමි- මානි පෙම් වත



අශෝක උයනේ ගල්තලාවක
දිගෑදී, පුර සඳකි ඉහළත
කාලිනේමිය පවසන්න මට
පුරසඳේ පළිඟුවේ විස්තර?

වීණා තත් ලෙලවමින් රාවණ
වයන මීරි නාදයේ මඳ නළ
රිදී සඳකැන් මත නැඟී ගෙන
පාව එන යාමයකි, මේ සුබ!

පළිඟු දිස් දෙන නුවන් කැල්මෙන
සඳ රැසින් නා ළපළු සිඹිමින
මුණින් දැහැනින් මුදා හර බැඳි
බඹුන් මැව් නිමැවුමක්ද මානිය?

නිසසලේ පාවෙන වලාකුළ
සඳේ කැල්මෙන් හද පුරෝගෙන
හෙමි හෙමින්විත් සඳ වසාගෙන
නික්මුණා සඳ සිහිල විදගෙන

පිපෙන කඩුපුල් මලක් නොදැනම
නටුව ගිලිහී වැටෙයි අකලට
සඳුන් ගසකට ඉවස ගන්නට
බැරුව හැඬුවා වරද දැන දැන

නැකැත් අහවර තරුව බැසගිය
මළ අඳුර දස අතින් පැතිරෙත
ළසෝ සෑයක දැවි දැවී මම
දැහැන් ගත වෙමි මතක විඳගෙන

අඳුරු ඡායාව


Thursday, October 21, 2010

දුකට කියන කවි



ගසා ගෙන ගිණි මැලක්
කවි කියමි, හඳ පහව යන තෙක්
හද පලන ලෝ ගිනි වැලක්
හඳේ ගොස් එහි ලැඟුම් ලන තෙක්..

ගින්නකින් දැවි දැවී වැනසුණ
අළු මතින් ඉපදෙන්න තතනන
අවසරයි ෆීනික්ස් කිරිල්ලිට
මතකයන් ළඟ තබා ගන්නට..

Saturday, May 8, 2010

පිනෙන් පින්වත්
වන්ට නොහැකිය
පෙමින් පෙම්වත්
නොවු නිසා මම