Thursday, July 10, 2014
කලු ඇග්නස්! - අර්තාගේ බැළ මිතුරිය ඇය!
එක්තරා සරත් සමයක
හැගුමින් පිරුණු දවසක
මේපල් තුරු මුලක් අස
'කලු ඇග්නස්!
ආර්තාගේ බැළ මිතුරිය ඇය!'
'එඩ්වඩ් හා ආලය පෑ
ඌස් නදී තෙර අසබඩ
ආර්තාගේ රහසක් ඇත
ඔබ හා කීමට'
'අහස් වියනේ අනිත් කෙළවර
අමෘත රස වයින් ජෝගුවක
එඩ්වඩ් ආර්තාගෙන් සොරාගත්
හදවතක් ඇත සුරැකිව!!'
මේපල් පතක නැගි ඔරුවක
පුංචි කුහුඹුවෙක් තබාගෙන
යන්නට හැකිද අපට
හද ගත් සොරා ඇය පා තැබුමට?
Friday, June 6, 2014
සෙල්ලම් ලෝකය
කපුටු කාක් කරච්චලයට
උදෑසන ඉර එළිය
එලවයි පුංචි පිනි බිද
මල් පැටික්කි බුම්මගෙන ඒකට
කාක හඩ පරදන්නට
අවදි වී ළමෝ කැළ
වසු පැටව් සමග කිරි බී එකට
දුව යන්නෙ ගග අයිනෙ සෙල්ලම් පිටියට
හැංගි මුත්තො සෙල්ලමයි ප්‍රියතම
දෙල් ගහට මුවා වී කරන
ඔට්ටුයි අල්ලගන්න බැරුවට
මම ඉන්නෙ නුග ගහේ මුදුනෙම
මේ නම් ළමා වයස
පොඩිත්තන්ගේ සෙල්ලම් ලෝකය
මුන් දනී නම් බර කම
පොලොව පිස එන සුළගට තිබෙන
කෙළි සෙල්ලම පොඩි සන්දියේ විනෝදය
වයසට යන විටද මග නෑරෙන
දෙල් ගහ සිතයි සීරුවට
උපේක්ෂාවෙන් නෙත් වසාගෙන...
Thursday, November 21, 2013
ගාමිණී ඔබ නමින් වැයූ, කොකතද වෙණ නද සිඳී ඇත අද
මණ්ඬුක නළා හඬ
සුමුදු ගුණයෙන් දැරූ,
හිරුත් දුටු සියපත් රුව
මා ප්‍රේම මියැසිය කන් යොමා නැත අද
ඇල් වී කෙත බඩ
කුඹුක් සෙවණැලි අතර
සෙවූ රන් මිණි උකුලත
සිහසුන් නැඟ ගත් සිහින දැක ඇත
'කණ්ඩුල' පා පියුම වැඳ
පිදු රජ කම ඔබට
බෝ පත් සෙවනක් යට
රන්වැලි සෑ රජුට කොත් පළඳා ඇත
රැව් දුන් හඬ සිදී
නාද වූ වෙණ තත් බිදී
ගාමිණී, ඔබ නමින් වැයූ
කොකතද වෙණ නද ද සිඳී ඇත අද
රණ ගොස ගුවනේ පා වී
මල්වැසි වස්සයි සාදු කාරය
ශාරදා මම්, වයන්නෙම්
රණවිරු මියැසිය ඔබ නමින් අද
කත්‍යූෂා ඇගේ නැඟණී - මා සොයා ආ සෙබළී
කත්‍යූෂා- ඇගේ නැඟණී
සීත හිම අතර තනි වී
සිංහ සමක - උණුහුම් සොයන්නී
කත්‍යූෂා ඇගේ නැඟණී
මරීනා ඔබ ඉවත ලූ
හද ඇහිඳ වලසා පිදූ
කාලින්කා නැටුමට එක් වූ
කත්‍යූෂා මා හද පිදූ
කත්‍යූෂා ඇගේ නැඟණී
මා සොයා ආ සෙබළී...
සිහල විරිතට ගී තනන්නී
මරීනා වයපන් බැලලයිකා
කත්‍යූෂා හා කලින්කා නටන්නට
වයපන් සිංහල බැලලයිකා
Sunday, August 4, 2013
කුරුළු ළමාතැන
"කුරුළු-ළමාතැන"
මගෙන් නම් ලද
කුරුමිණිය ඔබ,
සුමුදු පෙති පහස යට,
සර්වබන්ධන ව.
මල නම්, ශුද්ධ ය,
ගන්ධය සුගන්ධ ය,
බුද්ධ පූජා ය.
ශුද්ධය ඇත්තේ අශුද්ධය
ගන්ධය ඇත්තේ දුගන්ධය
බුද්ධ කාය ද දුක්ඛ ය
එහෙත් මල , ඔබෙහි සැපත ය.
පිච්ච මල ඔබ - රුවැති
බුදු පා පිදුමට ගැනෙති
නිකෙලෙස් පැහැ ලැබති
දිනක රුව ගුණ නැසෙති
'න හරාමි
න භඤ්‌ජාමි,
ආරා සිඞ්‌ඝාමි වාරිජං '
දැඩි බැඳුමකි
මා ගිලිහී වැටීමට නොදුන්
එහෙත් නොබැඳෙමි
ලෙහෙමි
වැටෙමි
එහෙත් නොමැරෙමි.
කඳුලින් කැඳලි සෝදක
පතොක් කටු විසැති
ඒ මත නැඟී රුවැති
කටෙහි කෙළ හිඳෙති
'සුන්දරය' මා වෙළති..
බලා නො-ඉන්
එමි පියඹන්
නුඹේ බිරින්
ගනු තුරුළින්
පතොක් ගහ උඩ කැඳැල්ල
නුඹෙ රුවැත්තී ගනිල්ල
රුවට රූ ගැනිල්ල,
සුරතල් පැටව් තැනිල්ල
විසෙහි විස නොහැඳුනන්
ආදර විසෙන් පැහැදුණන්
පෙම්බරව නොතැකුවන්
පතොක් කඳ මත සීන වපුරන්
හිඳීම විසකුරු විය
දැකීම විසකුරු විය
ගැයීම විසකුරු විය
ඇඬීම විසකුරු විය
සුන්දරත්වය නැති විය
ගිනි කුරුල්ලෙකි
සුලලිත
සායම් ඔබ්බවා හැඩැති
කිරිල්ලන්
විසෙහි පටලන
නො හැඳිනීමි කුලය
(Kandulin Kendali Shodaka)
රතු පාට වූ පමණින්.
Friday, December 14, 2012
මා පුරුෂය - වන බිළාල් ය
වන බිළාල් ය
මා යුග පුරුෂය
දඩයමින් වනයෙහි හැසිරුණු
සුකොමළය රළු ගතින් වැසුණු
පීර පීරා හද මස සෙවූ
රළු වනයෙක පඳුරු දිවි ගෙවූ
පතොක් වනයක ගුණ දත්
බෝපත් රුවක් ගත්
මා බිළාල් තැන,
ඒ නුඹ දුටු තැන්න!
පුංචි කහ මල් යාය
අප එන පෙරමඟ තාම..
සිහින
පුර සඳක් යට ගහේ ඉත්තක
කුරුමිණි යුවළක් එක් වෙලා
ඉගිල යන තරු කැටය ගානේ
වෙළී , හීනෙක පැටලිලා
සඳට දුර නැති වලාවක සැඳි
මාලිගාවට පියඹලා
පිනි කඳුලු මත නැඟුණු දේදුනු
සඳ මඬල වෙත පා කළා
පින්න මෝදු ව හැලෙන මහ වැසි
පොලෝ තලයේ ඇති නිසා
මවක ගුණ සඳ නැවී මිහි මත
පැලින් පැල එබිකම් කළා
සැඬ සුළඟ මැද හදක් නංවන
ලෝ දියේ ගිනි සිහිලවා
සොයා මල්සර පිපුණු තැන් වෙත
සඳත් සොමි රැස් ඉහිරුවා
Wednesday, August 22, 2012
බොලේ මේං මං නාකි වෙලා
අම්බලමකි අස්තිර පොලකි..
නැවතීමක් නැති දුක්කිත තැනකි..
යමි නො-ඉදුම සොයා
මම නො-එමි සදා
අස්තිර පොලකි.. දුක්කිත තැනකි..
ගෙන්-ගෙට වළදන මහණ ගණයි
මං - රසමසු ලොබකන පුතක්ජනයි
නො බැඳී රසයේ.. හිඳිනෙම් වනයේ..
වණ දුරලමි වීරිය ගෙන දිවියේ..
තැවරෙන කුණු මළ මහා බයයි
තැන තැන නැවතුම මෝහයමැයි
නොබැඳී සසරේ.. දුරුලම් අඳුරේ..
එළි පාදමි මනුහට දුක් නිරයේ..
නිවස කඩා.. බිඳ ලූ මිනිසා..
දෙසුවත් බණ නැත දුක සිඳවා..
පින නැත පුරවා
වාණය උතුරා..
තව තව ලොබ රොඳ බඳින තුරා..
අම්බලමකි අස්තිර පොලකි..
නැවතීමක් නැති දුක්කිත තැනකි..
යමි නො-ඉදුම සොයා
මම නො-එමි සදා
අස්තිර පොලකි.. දුක්කිත තැනකි..
(වාදනයක යෙදුණු ග්‍රැමෆෝන් ගී තැටිය මත තෘෂ්ණිම්භූත ස්වරයෙන් සිටි කූඹි පොඩිත්තියක් සිහිනෙන් දැක බිරාන්තව හිමිදිරියේ ඇහැ ඇරී අවදි වීමි. බොලේ මේං මං නාකි වෙලා.)
Monday, August 20, 2012
නුඹ සිඹිමි සිඹින්නෙමි - හදක් සඳක් වූ නිසැයි
මම සොයමි සොයන්නෙමි
ගසක් ගසක් කොළ බරින්
මම වැලකි වෙලන්නෙමි
මෙලෙක් මලක් පල බරින්
නුබ ගැබෙහි නුඹ දුරකි
සිතත් සිතත් නුඹ ළඟැයි
නුඹ සිඹිමි සිඹින්නෙමි
හදක් සඳක් වූ නිසැයි
මම දකිමි දකින්නෙමි
විලක්, වැවක් දිය පිරී
මම ගිලෙමි ගිලෙන්නෙමි
පෙමක් පෙමින් පින පිරී
නුබ සැරිය නුඹ සරය
ගනිම් ගනිම් සිත් වඩා
නුඹ පුරමි පුරන්නෙමි
බවක් බවක් සිත් පුදා
Friday, July 27, 2012
ළහිරු පෙරදිග නැඟ බටහිර දෙසට පැද්දෙත
පායන අහස් ගිනි එළිය
කැටයම් කුලුණු සිපගෙනය
විටක දෙවිටක පියඹන
පක්ෂියෙක් නැත ගුවනත
පරිසරය නිසසල
නිල් දිය ද සීතල
තුරු වදුළු මත කැදැළි සෙනෙහස
උණුසුමින් ළය තද කර
පොලෝතලයන් දැල්වී
මාරුත සිහිල කැළැඹී
මනස් ගෙඩි කළුවකින් ගැස්සී
විලෝපියෝ කෙළි රඟතී
ළහිරු පෙරදිග නැඟ
බටහිර දෙසට පැද්දෙන
සොයමින්, වපුළ අපුල බිජු
හිරු දේ අවකැපෙන පණ
ජාලයට අසුවූ
අජාලික බිලිදු
මනැස් කළුවන් අතින් දූලිව
ඉහළ සුව ගැබ යන රූ
කැටයම් කුලුණු සිපගෙනය
විටක දෙවිටක පියඹන
පක්ෂියෙක් නැත ගුවනත
පරිසරය නිසසල
නිල් දිය ද සීතල
තුරු වදුළු මත කැදැළි සෙනෙහස
උණුසුමින් ළය තද කර
පොලෝතලයන් දැල්වී
මාරුත සිහිල කැළැඹී
මනස් ගෙඩි කළුවකින් ගැස්සී
විලෝපියෝ කෙළි රඟතී
ළහිරු පෙරදිග නැඟ
බටහිර දෙසට පැද්දෙන
සොයමින්, වපුළ අපුල බිජු
හිරු දේ අවකැපෙන පණ
ජාලයට අසුවූ
අජාලික බිලිදු
මනැස් කළුවන් අතින් දූලිව
ඉහළ සුව ගැබ යන රූ
Tuesday, May 15, 2012
තුෂර පත් මතට මල්පෙති පතිත විය - කාලය කැරකිනි රවුමට..
තුෂර පතක නැඟි
හීතල සුසුමක්
පාවි පාවී ඇවිත්
ගොඩබැස්සා හෙමින්,
ළතෙත්ලන්තෙට..!
ඈත - මෑත බලා දුටු
රතුපාට පොඩි පැලක්!
දැල්වෙන ගිනි එළියක්?
සුසුම සුසුමක් හෙළා
පැලට ගොඩ වී අසයි
ගල් ගැහෙන සීතලකට
නැද්ද ලොකු උණුහුමක්?
ගිනි සිළු දැල්වී
ලොකු උණුසුමක් දුණි
සීතල සුසුම උණු වී
තව උණුහුමට ළං වුණි..
ගිනි දැල්ල සතුටින්
සුසුමට ළබැඳි වි ය
සුසුම පණ නැඟී
උණුහුම සමඟම ය..
* *
තුෂර පත් මතට
මල්පෙති පතිත විය
කාලය කැරකිනි
රවුමට..
* *
"ළතෙත්ලන්තයේ වසන්තය මේ...!!"
ප්‍රාණවත් සුසුම
උණුසුම මෑත් කොට
යා යුතු බව කීය
තව දුර..
ගිනි දැල් නැඟී
අයැදීය සුසුමෙන්
දැල්වීමට තවත්
ජීවන සුස්මක්...!
සුසුමද දයාවෙන්
ගිනි සිළ වෙත පැමිණ
නිදහස් හුස්මක්
තෑගි දුන්නා ඇයට..
(උතුරු වලසා තරුවෙන් බැස
දකුණු අහසට විත්
ග්‍රීෂ්මයෙ දොරට
තට්ටු දමනා රැයක
සුසුමක තුරුලේ හිඳ ලිවීමි...)
Saturday, April 28, 2012
ලුණු පොල්කටු ආලේ
ලුණු පොල්කට්ට අතැ'ති
සිසුවියක් දෙස බලා
ඔහුට ම කොඳුරයි - යමක්..
"ඔය ලුණු පොල්කට්ට
දෙහියුෂ හා එක්ව
මිරිකා ඉඟුරු ඉස්ම
විටක් දෙවිටක් බීම
සෙම කෑර කෑරා
පපුවට රිදුම් දෙන්නා
ලෙඩකි මේ කහිනා
දුක දුරලන්න ඕනා.."
ලුණු පොල්කට්ට ඇතැ'ති
ඈ, අත දම දමා කති
කටට කෙළ උනති
නැවත නැවතත් ලුණු කටේ වෙති
මේකි යස කෙල්ලකි
දැක්කම සෙම නැහෙති
ලුණු ය කීවාම ඇති
සෙම කෑර කෑරා යති..
ගම්මිරිස් මල්ලක් ගෙන
ඉඟුරු ගෝනිය උරේ ලාගෙන
කැටයම් කපා ඔප කළ
ලුණු පොල්කට්ටක් ඇත, මනාපෙට
සෙම් ගුරු ගොඩවුණේ
පොල්කට්ට අතැ'ති සිසු මිදුලේ
ඈ ගෙට දුව ගියේ
ඇගේ මව් පැමිණීය විගසේ
"ගුරුමහත්තැන් ආවේ
තකහනියක්ම කුමටේ?
අපෙ ලොකු එකී ගේ විසේ
අවනඩුවක්ද මහත්තැන්නේ?"
"විසයකට නොවෙයි ගොඩ උනේ
විසේසණ නොකරයි අහන්නේ
මේකයි කාරණේ
මට ඔහේලගෙ දුව ව ඕනේ..."
"හත්මුතු දෙයියනේ!!
මහත්තයො බොට සෙම කිපෙන්නේ
මේ.. අඳබාල වැඩ කරන්නේ
උඹට තව සෙං ගෙඩි හැදෙන්නේ...!!"
ගුරු තැන දුක් උනා
කියන්ට කිසිත් නැති වුණා
පිටව යන්නට සැරසුණා
වැඩ දැමූ පොල්කට්ට දුන්නා
පොල්කට්ට දුටු සැණින්..
ඈ වෙළුණා ය ආලෙන්..
පසු ගමන් ගොස් ගුරුගෙන්
දෙපා නැමදා වීය පතිනින්...
ලුණු ගම්මිරිස් එකට එක් වී
දෙහි ඉඟුරු ඉස්මෙන් කැලතී
පදමට සෙමට ගුණ දී
ගුරු මහත්තැන් - වුණි නිරෝගී..!!
Thursday, November 17, 2011
පෙම්වත් ය සදකැන්
Thursday, July 14, 2011
Sunday, May 29, 2011
නිවන ළඟැයැ අහුබුදුවනි
Sunday, May 1, 2011
Tuesday, April 26, 2011

වැස්ස නුඹ එය දන්නවානම්
මුරුගසන් වැසි හෙළනවා ඇති
ඇගේ සිත් ගිනි නිවාලන්නට
බැරුව වැහි බිඳ දුක් වෙනව ඇති
විසල් රුකකට වාරු දී ගෙන
සුසුම් හෙළනා ලතාවක් ඇති
නෙත් විලෙන් ඇඳ හැලෙන උණු දිය
මහා පොලොවට දැනෙනවා ඇති
මහා මාරුත ඇවිත් තුරු-ලිය
මැදින් පියඹා යන්න තතනති
මහළු ගස්වැල් සුළඟෙ නැටවී
හමන සුළඟට තාල නංවති
වැස්ස නුඹ එය දන්නවානම්
අකල් වැසි වස්සන්න නොසිතති
විසල් රුකකට උහුල ගන්නට
බැරිතරම් ළය තෙත් නොදෙනු ඇති
මුරුගසන් වැසි හෙළනවා ඇති
ඇගේ සිත් ගිනි නිවාලන්නට
බැරුව වැහි බිඳ දුක් වෙනව ඇති
විසල් රුකකට වාරු දී ගෙන
සුසුම් හෙළනා ලතාවක් ඇති
නෙත් විලෙන් ඇඳ හැලෙන උණු දිය
මහා පොලොවට දැනෙනවා ඇති
මහා මාරුත ඇවිත් තුරු-ලිය
මැදින් පියඹා යන්න තතනති
මහළු ගස්වැල් සුළඟෙ නැටවී
හමන සුළඟට තාල නංවති
වැස්ස නුඹ එය දන්නවානම්
අකල් වැසි වස්සන්න නොසිතති
විසල් රුකකට උහුල ගන්නට
බැරිතරම් ළය තෙත් නොදෙනු ඇති
Tuesday, April 12, 2011
Subscribe to:
Comments (Atom)






.jpg)









