Thursday, November 17, 2011

පෙම්වත් ය සදකැන්














චන්ද කින්නර රංගනෙන්
මුසපත් වෙමින් පිනි දෙව්ලියන්
අන්න පුන්සඳ ඉස්සෙමින්
සඳ කැන් ඉසියි හසරැල් මතින්
පෙම්බරයි සුළඟත් ඉතින්
මල් විසුරුවා තුරු ලිය වෙතින්
නාදවයි අඳුරත් සෙමින්
පෙම් ගී වැලක් මල් කෙමියකින්

Thursday, July 14, 2011



ළපළු හරිතය සන්තොසින් මුව විහිදුවා නා ලහිරු රැස්
තමලු ගස් සෙවණැලි යටින් ඇඳි පවන සුවබර ගෙනෙන වෙස්
මුකුළු හස කැන් අසල ගැවසෙන සුවඳ මල් විකසිතව ගොස්
කොපළු මත පිපි පින්න බිඳු හිනැහෙමින් ඉස පූදන සෙනෙහස්

Sunday, May 29, 2011

නිවන ළඟැයැ අහුබුදුවනි



මහ ගසැ ඇඳ වැටුණි
ළපටි පැළ සෙලවුණි
මහා බස් රුක නොමැති හිඩැහට
පිරුම් නොපිරෙනු දනිමි

හෙළ බසක් නැඟුණි
හෙළ නමක් උපනි
මහා බසකට පණ පොවා ලූ
පණ ද හෙළයට පිදුණි

‍පඬිමිණ නික්මිනි
ඔවදන නිසා නොහඬමි
බොදු දිවිය මහසරින් ‍දිවි ලූ
නිවන ළඟැය අහුබුදුවනි!

Sunday, May 1, 2011



නිල් අහසැ මත දිස්න දෙන සුමුදු වලාකුළු
සක්මන් ගමනින්-සෙමෙන් අඳින සිත්තමක'යුරු
ඇඳුණු ඒ සිතුවම්හි රුවමැ ඇති නදී ලඳු
වලාවේ ගමනින්මැ ඇදෙන්නී සිත් පිදුණු

සිහිලසින් බැඳී නිරතුරු සෙනෙහස් ලබපු
ගං ඉවුර තැවුලින් ය පුප්පමින් කෙස් කූරු
එහෙ මෙහෙන් සුළඟැ විත් මලු ලිහා ඕපා දූ
අවුළුවයි ගින්දරක් දුක් දියෙන් සිත් පිරුණු

Tuesday, April 26, 2011



වැස්ස නුඹ එය දන්නවානම්
මුරුගසන් වැසි හෙළනවා ඇති
ඇගේ සිත් ගිනි නිවාලන්නට
බැරුව වැහි බිඳ දුක් වෙනව ඇති

විසල් රුකකට වාරු දී ගෙන
සුසුම් හෙළනා ලතාවක් ඇති
නෙත් විලෙන් ඇඳ හැලෙන උණු දිය
මහා පොලොවට දැනෙනවා ඇති

මහා මාරුත ඇවිත් තුරු-ලිය
මැදින් පියඹා යන්න තතනති
මහළු ගස්වැල් සුළ‍‍ඟෙ නැටවී
හමන සුළ‍ඟට තාල නංවති

වැස්ස නුඹ එය දන්නවානම්
අකල් වැසි වස්සන්න නොසිතති
විසල් රුකකට උහුල ගන්නට
බැරිතරම් ළය තෙත් නොදෙනු ඇති

Tuesday, April 12, 2011



අරුණැසිය,
ඇහැරෙන්!
මේ
බක් මහේ හිරු මඟුල
බතින් සරු හිනා මල්
පල දරන්නේ මහ මඟුල
ගම් බිමේ පුසුඹ වැල්
හිත කීරි අනිනා සමය
හෙළය නළියන සමය
අවුරුද්ද සැණකෙළිය

Thursday, January 13, 2011



සෙනේ හදකට සෙනේ පිදුමක්
වුවත් පින්වත් සිත් ලෙසින්
බයක් ඇත නුඹ ලැබෙන්නැති වෙද
සැඟව එන අන් වරදකින්

කමක් නැත්නම් කියන්නෙම් මම්
හදින් නැඟෙන මහමෙරක සෙනේ
ලොවක් නැති මෙන් හැඟෙන්නෙන් දැන්
ඉතින් වාවනු කෙලෙස සිතේ

Monday, January 10, 2011



කණා මැදිරි එළි පොකුරු පිපී ඇති
ඈත බිග්බෙන්පුර පුරා
සෙනෙහස් සුළඟක් සෙනේ උතුරන
තේම්ස් නදියට ළං වුණා
රැයක තරුකැට එකින් එක ගොස්
වළාරොඳකට සැඟවිලා
ළබැඳි හදකට සෙනේ පිරුමක්,
කියා තුටු වී හිනැහුණා