Thursday, November 18, 2010

කාලිනේමි- මානි පෙම් වත



අශෝක උයනේ ගල්තලාවක
දිගෑදී, පුර සඳකි ඉහළත
කාලිනේමිය පවසන්න මට
පුරසඳේ පළිඟුවේ විස්තර?

වීණා තත් ලෙලවමින් රාවණ
වයන මීරි නාදයේ මඳ නළ
රිදී සඳකැන් මත නැඟී ගෙන
පාව එන යාමයකි, මේ සුබ!

පළිඟු දිස් දෙන නුවන් කැල්මෙන
සඳ රැසින් නා ළපළු සිඹිමින
මුණින් දැහැනින් මුදා හර බැඳි
බඹුන් මැව් නිමැවුමක්ද මානිය?

නිසසලේ පාවෙන වලාකුළ
සඳේ කැල්මෙන් හද පුරෝගෙන
හෙමි හෙමින්විත් සඳ වසාගෙන
නික්මුණා සඳ සිහිල විදගෙන

පිපෙන කඩුපුල් මලක් නොදැනම
නටුව ගිලිහී වැටෙයි අකලට
සඳුන් ගසකට ඉවස ගන්නට
බැරුව හැඬුවා වරද දැන දැන

නැකැත් අහවර තරුව බැසගිය
මළ අඳුර දස අතින් පැතිරෙත
ළසෝ සෑයක දැවි දැවී මම
දැහැන් ගත වෙමි මතක විඳගෙන

2 comments:

මධුරංග said...

ම්.... ෂෝක් මේ කවියත්. ලස්සනයි අක්කා මේ කවි ටික !!!!

මුතුණි said...

බොහොමත්ම ස්තූතියි! :)